Wednesday, April 24, 2024

General line - 0115112241

චීනයට ගිය මොන්ගෝලියානු ජනපතිත් සති 02 ක නිරෝධායනයකට




මොන්ගෝලියානු ජනාධිපති කල්ට්මාජින් බතුල්ගා සති 02 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබෙනවා. ඒ, චීනයේ සංචාරය කර යළි පැමිණීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්වූ රජයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුද මෙලෙස නිරෝධායන ක්‍රියාවලියකට යටත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අර්බුදයට පත්ව ඇති චීනයට සහයෝගය පළ කිරීම සඳහා එම පිරිස චීනයේ සංචාරයක නිරත වී ඇති බවයි පැවසෙන්නේ. එහිදි චීනයට බැටලුවන් 30,000 ක් පරිත්‍යාග කිරීමට මොංගෝලියාව එකගත්වය පළ කර ඇති බව ද සඳහන්. 

මේ අතර ජපානයේ හොකයිදෝ දූපතට හදිසි තත්ත්යක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අද සිට එළඹෙන මාර්තු 19 වනදා දක්වායි. දූපත තුළ නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවයි හොකයිදෝ ආණ්ඩුකාරවරයා පැවසුවේ. ජපානයෙන් මේවනවිට නව කොරෝනා ආසාධිතයින් 226 දෙනෙකු වාර්තා වන අතර ඉන් 13 දෙනෙකුම හොකයිදෝ දූපතේ වැසියන්. 

මේ අතර නව කොරෝනා වෛරසය පැතිර ඇති ප්‍රදේශ වල අද දින සිදුකිරීමට තිබූ සිකුරාදා දේවමෙහෙයන් අත්හිටුවීමට ඉරානය පියවර ගත්තා. චීනයෙන් පසු මේවනවිට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන් වන අතර එම සංඛ්‍යාව 34 ක්. 

ඉකුත් පැය 24 තුළ පමණක් ඉරානයෙන් නව කොරෝනා මරණ 08 ක් වාර්තා වී තිබෙනවා. 

මේ අතර දකුණු කොරියානු ජාතිකයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවීමට වියට්නාමය පියවර ගත්තා. ඒ, නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ තවදුරටත් සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන්. චීනයට පසුව තවමත් වැඩිම කොරෝනා ආසාධිතයින් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 2,337 ක්. දකුණු කොරියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 13 ක් වනවා.