Thursday, March 28, 2024

General line - 0115112241

ඇන්කර් කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක නැහැ - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කරයි 




වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් මහජනතාව අතර සහ සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වුණ මාතෘකාවක් ඇතිවුණා. එමෙන්ම මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව විසින් අත්පත්‍රිකා සහ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල කිහිපයක්ද පසුගිය දිනවලදී ක්‍රියාත්මක වුණා.

මේ සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව විසින් සිදු කරන මෙම ක්‍රියාව දේශපාලන වාසි ලබා ගැනීමටත්, පවතින රජය අපහසුතාවයට පත් කිරීමටත් මේ ආකාරයේ නාටක කාලයෙන් කාලයට ක්‍රියාත්මක කරන බවත්  මෙම ක්‍රියාව නිසා තම සංගමයේ වෙළඳ කටයුතු අඩාල වීමට ඍජු බලපෑමක් සිදුවන බවයි.

කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කළා.

ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණා.

 කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා.

ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා.

ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි.

 “එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්‍ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්‍ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග  පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්‍ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.”

 නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

 “ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්‍රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා.

 ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි.

 නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.