Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ඉරානයේ පාර්ලිමේන්තුව දින නියමයක් නොමැතිව වසා දමයි : සහයට එන්නදැයි අමෙරිකාව අසයි




නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකට ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර BBC පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් තහවුරු කර ඇති බවයි.

කෙසේ වුවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියේ වෛරසය හේතුවෙන් එරට මියගොස් ඇත්තේ පුද්ගලයින් 34 දෙනෙක් පමණක් බවයි.

මේ අතර ඉරානයට අවශ්‍ය වෛද්‍ය ආධාර සහ උපකාර ලබාදීමට සුදානම් බවට අමෙරිකානු රජය නිල වශයෙන් දැනුම් දුන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ප්‍රකාශ කර සිටිනවා.

දිනෙන් දින ඉහළ යන වෛරසයේ බලපෑමෙන් ඉරානය ගලවා ගැනීම සඳහා අමෙරිකාව මෙම යෝජනාව සිදුකලත් ඉරාන රජය එය පිලිගනිවිද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ නොහැකි බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.