Saturday, April 20, 2024

General line - 0115112241

උඩ පන්දු 05 ක් අත්හළ ශ්‍රී ලංකා කාන්තා පිළ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට




ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු අද බිඳ වැටුණා. ඒ, ඉන්දීය කාන්තා කණ්ඩායම සමග මෙල්බර්න්හි පැවති තීරණාත්මක පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 07 ක පරාජයක් ලැබීම හේතුවෙන්. 

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 113 ක් රැස් කළා. සුපුරුදු ලෙස ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නායිකා චමරි අතපත්තු පන්දු 24 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 
05 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33 ක්. කවීශා දිල්හාරි පන්දු 16 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළා. 

ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 114 ක ඉලක්කය 15 වන පන්දුවාරයේදී කඩුලු 03 ක් දැවී පසුකර යමින් මෙම තරඟය ජය වාර්තා කළා. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. 

අද තරඟයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම අතිශය දුර්වල මට්ටමක පැවතීම විශේෂත්වයක්. අද තරඟයේදී පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහුණු උඩ පන්දු සංඛ්‍යාව 05 ක්. පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගී වන අවසන් තරඟය බංග්ලාදේශයට එරෙහිව මාර්තු මස දෙවනදා මෙල්බර්න්හිදී පැවැත්වෙනවා.