Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව හෙට විසුරුවයි - මහ මැතිවරණය පැවැත්වෙන දිනයත් මැදියම් රැයේ ප‍්‍රකාශයට




පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිතව තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු එය හෙට මධ්‍යම රාති‍්‍රියේදී නිකුත් කිරීමට නියමිතයි. 

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අද මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතිනවා. 

මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය යුතු වනවා. 

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනෙන්නේ එතැන් සිට දින 17 ක් ඇතුළතයි. 

පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා. මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. 

එම කාලසීමාවේදී මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවද දේශපාලන ආරංචි පැවසුවා.