Friday, March 29, 2024

General line - 0115112241

ලොවපුරා ජිවිත විසිදහසක් කොරෝනා වෛරසය බිළි ගනියි




නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා තිබෙනවා.

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව මේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 20,499ක් වන අතර අසාධිතයින් සංඛ්‍යාව 451,355ක්.

ගතවූ පැය 24ක කාලය තුලදී ඉතාලියෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 683 ක් ජිවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 7,503 ක් වේ.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව දෙවැනියට වැඩිම පිරිසක් මියගිය රට බවට ස්පාඤ්ඤය පත්ව තිබෙනවා.

මේ වන විට ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,434 ක් වාර්තා වී ඇත. ගතවූ පැය 24 තුලදී එරටින් මරණ 700 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

ස්පාඤ්ඤයේ උප අගමැතිවරිය වන කාර්මේන් කාල්වෝ ද අද දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව එරට රජය නිවේදනය කර සිටියා.

මේ අතර ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මාර්කල්ට දෙවන වරටද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට එම වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට අමෙරිකාවෙන්ද ගතවූ පැය 24ක කාලය තුලදී කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 193 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 737 ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 54,453 ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.