Thursday, March 28, 2024

General line - 0115112241

මිල වැඩි නිසා මැනිං වෙළඳපොළේ නොසන්සුන් තත්ත්වයක්




එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා.

බොහෝ එළවළු තොග ලෙස අලෙවි වූයේද, කිලෝග‍්‍රෑම් 01 ක් රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.

පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැමිණ මැනිං වෙළඳපල පොදු වෙළඳ සමිතියේ නියෝජිතයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

අනතුරුව මැනිං වෙළඳපලේ එළවළු වෙළඳාම සඳහා උපරිම තොග මිලක් නියම කර අදාළ මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කළ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කිරීමෙන් පසුව ද තවදුරටත් මැනිං වෙළඳපලේ එළවළු අලෙවි වූයේ පෙර පැවැති වැඩි මිලටමයි. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවසුවේ ප‍්‍රකාශිත උපරිම තොග මිල හෙට (27) සිට කි‍්‍රයාත්මක වන බවයි. 

නියම කර ඇති උපරිම තොග මිල ඉක්මවා මැනිං වෙළඳපලේ එළවළු අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීති ප‍්‍රකාරව කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද අද එළවළු අලෙවි වූයේ වැඩි මිලකටයි. අතරමැදියන් කූඨ ලෙස කටයුතු කරමින් අයුතු ලාභ ඉපයීම නිසා එළවළු මිල මෙලෙස ඉහළ ගිය බව එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුනු නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර පැවසුවා.  

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ද ගනුදෙනු සඳහා අද විවෘත කර තිබුණා. කෙසේවෙතත්, තොග ලැබණේ සීමිත ප‍්‍රමාණයක් බවයි එහි වෙළඳුන් පැවසුවේ.