Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ අයෙකු කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක සංචාරය කර ඇතැයි තොරතුරු




කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය ප‍්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි. ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම් වලට සම්බන්ධ වී ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා. 

කොරෝනා රෝගය තහවුරු වූ මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට ද තොරතුරු පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ. 

මේ අතර බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව එම ප‍්‍රදේශයේ කිසිඳු පුද්ගලයෙකුට එම ප‍්‍රදේශයෙන් පිටතට යාමට හෝ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට මේ මොහොතේ සිට අවසර ලැබෙන්නේ නැහැ. මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. 

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් 26 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවයි. 

මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ පුද්ගල එක් රැස්වීම් රැසකට සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශයේ පවුල් 26 ක පුද්ගලයින් එම ප‍්‍රදේශය තුළම නිරෝධායනයට ලක් කිරීමට ද තීරණය කර තිබෙනවා. මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේයි. 

කලූතර දිස්ති‍්‍රක් ලේකම් යූ ඞී සී ජයලාල් නෙත් නිවුස් වෙත පැවසුවේ බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් මුරපල 08 ක් ස්ථාපිත කර ඇති බවයි. පොලිස් විශේෂ කාර්යය බලකාය ජංගම මුරසංචාර ද කි‍්‍රයාත්මක කර ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා පැවසුවා.