Wednesday, April 24, 2024

General line - 0115112241

සැලසුමකින් තොරව ඉන්දියාව වසා දමා රටවැසියන් අපහසුතාවයට පත් කිරීම ගැන මෝදි ජාතියෙන් සමාව අයදියි




සමස්ථ ඉන්දියාවම එකවර වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එරට වැසියන්ගෙන් සමාව අයැද සිටියා. ඒ, ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටවැසියන්ට අපහසුතාවලට මුහුණපැමට සිදුවන තීරණ කිහිපයක් තමන් විසින් ගත් බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් රටවැසියන් සමාව ලබාදෙනු ඇතැයි සිය හෘදසාක්ෂිය පවසන බව ද අග‍්‍රාමාත්‍ය මෝදි පැවසුවා. 

බිලියන 1.3 ක ජනගහනයක් සහිත ඉන්දියාව වැනි රටක් සඳහා නව කොරෝනා වෛරසයට එරෙහිව යුද්ධයක් කිරීමට වෙනත් ක‍්‍රමයක් නොතිබුණු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. එය ජීවිතය හා මරණ අතර සටනක් වන බැවින් ඉන්දියාව එම සටන ජයගත යුතුව තිබෙන බව ද අග‍්‍රාමාත්‍යවයා පෙන්වා දුන්නා. 

මේ අතර රුසියාවේ මොස්කව් නගරය අද සිට සම්පූර්ණයෙන් නිරෝධානයට ලක් කර තිබෙනවා. ඒ අනුව මොස්කව් නගර වැසියන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණයි.

මේ අතර ඉතාලි සහ ප‍්‍රංශ බලධාරීන් විසින් එම රටවල සිටින ඇතැම් නව කොරෝනා ආසාදිතයින් ප‍්‍රතිකාර සඳහා ජර්මනියට යොමු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඒ අනුව එම රෝගීන් ගුවන් මගින් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපළ වෙත රැගෙන යන අතර පසුව රෝහල් කරා යොමු කෙරෙන බව සඳහන්.