Saturday, April 20, 2024

General line - 0115112241

වීඩියෝ තාක්ෂණයෙන් රෝගීන් පරීක්ෂා කිරීම ඇරඹේ - සේවාව ලබා ගැනීමට app එක භාගත කර ගන්න




විඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින මෙම කටයුතු ආරම්භ කෙරෙනවා.

දැනට පවතින කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ වලට සෞඛ්‍ය සේවා ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිට වෛද්‍යවරයාගෙන් ලබාගත යුතු වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මෙම ක්‍රමවේදය තුලින් හැකියාව ලැබෙනවා. මෙහිදී වෛද්‍යවරයා හා රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් එම වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම‌ට කටයුතු සිදු කෙරෙනවා.

එම නවීන තාක්ෂණික ක්‍රමවේදය නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (31) බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි අතර රෝහලේ ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් මේ පිළිබදව අමාත්‍යවරිය දැනුවත් කරමින් මෙහි ප්‍රථම නියාමක ව්‍යාපෘතිය රෝහලේ ස්නායු රෝග සායනයේ දී ක්‍රියාත්මක කළා. එහිදි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඉහත වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා රෝගියෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් වි‌ශේෂිත රෝහල් තුල ක්‍රියාත්මක කිරීම නියමිතයි. මේ සඳහා oDoc app ජංගම දුරකථනකයට භාගත කිරීමෙන් සෑම රෝගියෙකුටම මෙම සේවාව ලබාගැනීමට හැකිවනු ඇති.

මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීම ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හරහා සිදු කිරීමට නියමිත අතර, මීට අමතරව 0770773333 දුරකථන අංකය ඔස්සේ සහ අන්තර්ජාලයේ oDoc.life  ලෙස සටහන් කොට පරිශිලනය කිරීමෙන් ද තොරතුරු ලබාගත හැකියි.