Saturday, April 20, 2024

General line - 0115112241

තාවකාලිකව අද ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්




කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය අද (01) උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම අවදානම පහව යාමක් ලෙස සලකා නොසැලකිලිමත්ව කටයුතු නොකරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිින්නේ. පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම ඉල්ලීම සිදු කළා.

අද උදෑසන 6.00 ට ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්කවලට දහවල් 2.00 ට යළි ඇදිරි නීතිය පනවන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක තවදුරටත් නව කොරෝනා අධි අවදානම් කලාප ලෙස හදුනා ගෙන තිබෙනවා. එම දිස්ති‍්‍රක්ක සදහා දැනට පනවා තිබෙන ඇදිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.

කළුතර දිස්ති‍්‍රක්කයේ අටළුගම සහ මහනුවර දිස්ති‍්‍රක්කයේ අකුරණ යන ගම්මාන තවදුරටත් සම්පූර්ණයෙන් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කිසිවෙකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි අවධාරණය කෙරුණේ.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ති‍්‍රක්ක අතර ගමනා ගමනයද තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්‍ෂමව පවත්වාගනු පිණිස ලබාදී ඇති සහන අවභාවිත කරන්නන්ට එරෙහිවද නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.