Friday, March 29, 2024

General line - 0115112241

රුසියානු ජනපති සමග නිරීක්ෂණ චාරිකාවක නිරත වූ පුද්ගලයෙකුට කොරෝනා




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග මොස්කව් නුවර නව කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන්වූ ප‍්‍රධාන රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙම නිරීක්ෂණ චාරිකාවකට එක් වූයේ ඉකුත් සතියේයි. ඒ අනුව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද නිරන්තරයෙන් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටින බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදෙස් වාර්තා පවසනවා.

මේ අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ පා සිටින බරපතළම අභියෝගය නව කොරෝනා වෛරසය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප‍්‍රකාශ කර තිබෙනවා. මීට සමාන කළ හැකි කිසිදු ගෝලීය අර්බුදයක් මෑත කාලයේ වාර්තා නොවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ජපානයේ ටෝකියෝ අගනුවර පාසල් ලබන මැයි මාසය දක්වා තවදුරටත් වසා තැබීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ (31) දිනයේ ටෝකියෝ නුවර නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70 ඉක්මවා ඉහළ යාම හේතුවෙන්. 

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අටලක්ෂ 57,299 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 42,114 ක්. 

ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 837 ක් වාර්තා වී තිබෙනවා. එම කාලය තුළදී ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 748 ක් සහ අමෙරිකාවෙන් කොරෝනා මරණ 726 ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.