Friday, April 19, 2024

General line - 0115112241

දිවයිනටම යළි ඇඳිරි නීතිය පැනවීම අද දහවල් දෙකට - හුදකලා කෙරූ ගම්මාන වලට ඇතුලු වීම, දිස්ත්‍රීක්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම්




අද උදෑසන 06 ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්ක සඳහා අද දහවල් 02 සිට ලබන සඳුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක නව කොරෝනා අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම දිස්ති‍්‍රක්ක සඳහා ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකයි.

මේ අතර, අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් වනවා. කළුතර සහ මහනුවර දිස්ති‍්‍රක්කවල හුදකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු ගම්මානවලට ඇතුලූ වීම සහ එම ගම්මානවලින් පිටවීම ද තවදුරටත් තහනම් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නම් කරන ලද සේවාවල යෙදී සිටින්නන්ට ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඇඳිරි නීතිය පනවා තිබෙන කාලයේදී වුවද ආහාර සහ අත්‍යාවශ්‍ය වෙනත් ද්‍රව්‍ය නිවසේ සිටම මිලදී ගත හැකියි. ගොවිතැන්, කුඩා තේ වතු හා අපනයන භෝග වගාවන්හි නිරත වන තැනැත්තන්ට ද ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා.