Friday, March 29, 2024

General line - 0115112241

හකීම්ගේ ප්‍රකාශයටත් ජනතා විරෝධය - "මෙය දේශපාලන වාසි ගන්න අවස්ථාවක් නොවෙයි" - මහා සංඝරත්නයත් පැහැදිළි කර දෙයි




නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 වෛරසයට එරෙහිව මුළු රටම සටන් කරමින් සිටියදී ඇතැම් දේශපාලඥයින් තවදුරටත් දේශපාලන වාසි ලබා ගැනීමේ අදහසින් කටයුතු කිරීම පාර්ශ්ව රැසක අප‍්‍රසාදයට ලක් වනවා.

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් කිරීමට විරෝධය පළ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ ඉකුත්දා කළ සත්‍යග‍්‍රහය ද කිසිසේත් අනුමත කළ නොහැක්කක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ ප‍්‍රධානියා කවුරුන්ද යන්න නොව නිවැරදි තීරණ ගැනීම හා එම තීරණ කාර්යක්ෂමව කි‍්‍රයාත්මක කිරීම බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිදී සඳහන් කෙරුණේ ප්‍රශ්න කළ යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවලියේ යම් අඩුපාඩුවක් පවතින්නේ නම් එය බවයි.

මේ අතර, නව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිය ආගමික නියමයන් පරිදි ඉටු කිරීමට අවස්ථාව ලබා නොදුන් බවට හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් කළ ප‍්‍රකාශයන් ද පාර්ශව රැසක අප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් පෙන්වා දුන්නේ හකීම් වැනි නායකයින් මේ මොහොතේ කටයුතු කළ යුත්තේ සමස්ථ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් බවයි පෙන්වා දුන්නේ. .

දිගින් - දිගටම ඇඳිරි නීතිය පනවා තබා ජන ජීවිතය අඩාල නොකර ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි ඇතැම් අය කරන යෝජනා ද ප‍්‍රතික්ෂේප කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට බව සියලූ දෙනා තේරුම් ගත යුතුව ඇතැයි මහා සංඝරත්නය සහ මහජනතාව පෙන්වා දුන්නා.