Friday, March 29, 2024

General line - 0115112241

බේරුවල පුද්ගලයින් 140ක් ස්වයං නිරෝධායනයට 

තුසිත කුමාර ද සිල්වා




බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් (31) දා එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන IDH උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න අද (01) ප්‍රකාශ කර සිටියා.

පන්නිල ග්‍රාමයෙන් හඳුනාගත් පවුලේ පිරිමි පුද්ගලයා වූ මැණික් ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි ඩී එච් රෝහලට මාරු කර පසුව ඔහුගේ බිරිඳ, අවුරුදු එකහමාරක් වයසැති දරුවා, බිරිඳගේ මව හා පියා යන අය රෝහල්ගත කර තිබේ.

මෙම ආසාදිතයන් හමුවීමත් සමඟ පන්නිල හා ඒ අවට තවත් ගම් හතරක් වසා දැමීමට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය යටතේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර එම ප්‍රදේශ ආවරණය වන පරිදි යුධ හමුදා ආරක්ෂාව සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සඳහන් කර සිටියා.

බේරුවල ප්‍රදේශයේ යුද හමුදාව 150 ද පොලිසිය 40 දෙනකු ද යොදවා ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කර ඇත.

නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාමට කටයුතු කළ බවයි බේරුවල පොලිසිය සඳහන් කර සිටියේ.