Saturday, April 20, 2024

General line - 0115112241

මිය ගිය 03වැනි කොරෝනා ආසාදිතයා සිටි මරදානේ නිවාස සංකීර්ණයක පිරිස බහිර සබඳතාවලින් හුදකලා කෙරේ




මෙරට තුන්වන කොරෝනා මරණය ඊයේ (01) රාති‍්‍රයේ වාර්තා වුණා. මෙලෙස මියගියේ මරදාන ප‍්‍රදේශයෙන් ඊයේ හදුනා ගැණුනු 73 හැවිරිදි පුද්ගලයායි. 

ඔහු මෙලෙස මියගොස් තිබුණේ  කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරයි. 

මේ වනවිට එම පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් ද මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.  
මීට පෙර මාරවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු සහ මීගමුව, පෝරුතොට ප‍්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු ද නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගියා. 

මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 ක්. රෝගීන් 21 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 122 දෙදෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ රෝහල්ගතවයි. 

සැක සහිත රෝගීන් 231 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. 

මේ අතර සිංගප්පූරුවේ සේවයේ නිරත ශ‍්‍රී ලාංකිකයින් 03 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. වයස අවුරුදු 33, 37 සහ 44 යන වයස් සීමාවල පසුවන ශ‍්‍රී ලාංකිකයින් 03 දෙනෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සිංගප්පූරුවේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ. 

මේ වනවිට එම මහ කොමසාරිස් කාර්යාලය ද තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, මහ කොමසාරිස් කාර්යාලය පිහිටි සිංගප්පූරුවේ, නොවිනා නගරයේ, ගෝල්ඞ් හිල් ප්ලාසා ගොඩනැගිල්ලේ 21 මහලේ පිහිටි කාර්යාලයක පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඞ්රෝස් ආදනම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ දුරකථන සංවාදයක් සිදුව තිබුණා. එහිදී ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැසසුමට ද ලක්ව තිබුණා.