Thursday, April 25, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනකු මෙරටින් හමුවෙයි - ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමගත් වසා දමයි




මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. මේවනවිට කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. 

සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්. තවත් සැක සහිත රෝගීන් 250 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි. 

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා. 

එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. ඒ, පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් සංවිධාන කරමින්. 

මේ අතර අදාළ පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කළ ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේවනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්. 

ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.  ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ. 

මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම කාන්තාව ඊයේ රාති‍්‍රයේ අයි ඞී එච් රෝහල වෙත යොමු කෙරුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගැනුණා. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප‍්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළිව තිබෙනවා.