Thursday, April 25, 2024

General line - 0115112241

ආර්ථික මධ්‍යස්ථාන වසා දැමේ - එළවළු බෙදා හැරීමට නව ක්‍රමවේදයක්




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල සහ ඇඹිලිපිටිය යන විශේෂ ආර්ථික මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ආර්ථික මධ්‍යස්ථාන මගින් එළවළු, පළතුරු ඇතුළු දේශීය ආහාර ද්‍රව්‍ය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් බෙදාහැරිම සදහා නව ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කරන බවයි. 

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ගෙනඒමත්, එතැන් සිට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට එළවළු ප‍්‍රවාහනයත් නතර කිරීමටයි නව තීරණය ගෙන ඇත්තේ. ඉල්ලූම් කරන භාණ්ඩ ප‍්‍රමාණයන් සහ මිල ගණන් පිළිබද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකඟතාවකට පැමිණිය යුතු බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කළා. 

දුරකතන ඇතුළු සන්නිවේදන මාධ්‍ය උපයෝගි කර ගනිමින් ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදුවන අතර වෙළදුන් සදහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත නොකරනු ඇති.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්වීම මුල්කරගෙන වහාම ක‍්‍රියාත්මක වන පරිදි ත‍්‍රිකුණාමලය මත්ස්‍ය වෙළදපොල සංකීර්ණයේ අලෙවි කටයුතු ස්ථාන දෙකක පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.