Wednesday, April 24, 2024

General line - 0115112241

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත




නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තා. 

මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප්‍රනාන්දු මහත්මියයි. 

පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත , 2019 ජනවාරි මාසයේදී අනාගත ප්‍රධාන විධායක නිලධාරී තනතුරට නම් කොට නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කරන ලදි.

වසර 27 කට අධික කාලයක පටන් විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ඔහු, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාර අංශය පරිණාමීය වෙනසකට ලක් කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබා දුන්නා. 

බැංකුකරණ ක්ෂේත්‍රය ශීඝ්‍ර වෙනසකට ලක් වෙමින් පවතින මොහොතක ඔහු උපරිම පාරිභෝගික පහසුව වෙනුවෙන් ඩිජිටල් බැංකුකරණ සහ මෙහෙයුම් ඩිජිටල්කරණය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළ අයෙක්.

මෙම පත්වීම පිළිබඳ අදහස් පළ කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපති ගිහාන් කුරේ සඳහන් කළේ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉලක්ක ජය ගැනීමට නායකත්වය ලබා දීමට ප්‍රියන්ත තල්වත්තට  හැකියාව පවතින බවට තමන්ට බෙහෙවින් විශ්වාස බවත්, මෙම තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔහු බවත්, ඔහුට තම සුබ පැතුම් පිරිනමන බවයි.

ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් සේවාව මෙරටට හඳුන්වා දුන් ඔහු, විශිෂ්ටතම අභ්‍යන්තර සහ කාර්ය ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් වර්තමානය වන විට මෙරට ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන සේවාව බවට එය පත්කර තිබෙනවා. 

නව පාරිභෝගික ව්‍යාපාරික ඒකක ස්ථාපනය කිරීම, පවත්නා ව්‍යාපාරික ඒකක පුළුල් කිරීම සහ නව ව්‍යාපාරික අවස්ථාවලට පිවිසීම යන අංශවල සිය විශේෂඥ දැනුම මනාව පිළිබිඹු කරමින් පාරිභෝගික බැංකුකරණ ක්ෂේත්‍රයේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ස්ථානය වඩාත් තහවුරු කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන් අයෙක් ද වනවා.

"නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නිරන්තරයෙන් ඉදිරිගාමී ප්‍රවේශයකින් කටයුතු කරන බැංකුවක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියන බැංකුවක්. මින් පෙර මෙම තනතුර හෙබවූ රේණුකා ප්‍රනාන්දු වෙත මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි. ඇය ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කටයුතු කළ වසර 8 ක කාලය තුළ, අනාගත වර්ධනය අත්කර ගත හැකි ශක්තිමත් පදනමක් සකස් කිරීමට ඇය සමත් වුණා. එම පදනම මත පිහිටා, ශීඝ්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ අපගේ බැංකුව පෙරමුණට ගෙන යාම සඳහා මා අඛණ්ඩව කැපවන බවට මෙහිදී සඳහන් කිරීමට කැමතියි. මාගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නේෂන්ස් ට්‍රස්ට් කණ්ඩායම මා පිළිබඳ තබා ඇති විශ්වාසයත්, අපගේ පාරිභෝගිකයන්, වෙළඳ හවුල්කරුවන් මෙන්ම සියලුම අනෙකුත් පාර්ශ්වකරුවන් මා වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගයත් අපගේ පොදු අරමුණ වෙනුවෙන් ගමන් කිරීමට අපට හැකිවන බවට සහතික වනවා." යනුවෙන් ප්‍රියන්ත තල්වත්ත මහතා සඳහන් කළා .

දත්ත විශ්ලේෂණය මත පදනම් වූ විකුණුම් හා ව්‍යාපාර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තීරණ ගැනීම හා අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේද බැංකුවට හඳුන්වා දීමට ප්‍රියන්ත තල්වත්ත පුරෝගාමී වූ අයෙක්. 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ආවේණික වූ ක්‍රමවේදයක් ඔස්සේ සබඳතා කළමනාකරණ සේවා වැඩිදියුණු කිරීමට ද ඔහු පුරෝගාමී වූ බවයි සඳහන් වන්නේ.

අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි හාවර්ඩ් ව්‍යාපාරික විද්‍යායතනයේ උසස් කළමනාකරණ වැඩසටහනේ ආදි විද්‍යාර්ථියෙකු වන ප්‍රියන්ත තල්වත්ත, එක්සත් රාජධානියේ වරලත් අලෙවි ආයතනයේ සුදුසුකම් ලත් අලෙවිකරුවෙකු ද වෙයි.

‘Business Today’ සඟරාව මගින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබෙනවා. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටින බැංකුවක්. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වා දෙන ලද්දේ ද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසිනි. 

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96 ක් විවෘත කර ඇති අතර ATM යන්ත‍්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර LankaPay  ජාලය ඔස්සේ තවත් ATM යන්ත‍්‍ර 3,700 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටිනවා.