Friday, April 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් ඉවසා සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි




කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප‍්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරුණා.

එම දිස්ති‍්‍රක්කවලට අද සවස 04.00 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම දිස්ති‍්‍රක්කවලට එලෙස පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත කි‍්‍රයාත්මක වන බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි. රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප‍්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට තීරණය කෙරුණේ රත්නපුර මුද්දූව ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි. ඒ අනුව රත්නපුර මුද්දූව ප‍්‍රදේශයේ පවුල් 60 ක් නිරෝධායනයට යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.  

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප‍්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අලූත් අවුරුදු සමය තුළ චාරිත‍්‍ර - වාරිත‍්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙස ද රජය අවධාරණය කරනවා.