Friday, April 26, 2024

General line - 0115112241

"සොයා බලා අපට සහය දෙන 'නෙත්' වෙත ස්තූතියි" - IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම




නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග මතු වූ අභියෝගාත්මක තත්ත්වයෙන් රට මුදා ගැනීමේ අරමුණින් නෙත් එෆ්. එම්. රේඩියෝව අපි ජාතික බලවේගය සමග ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර ආරම්භ කළා.

ඒ යටතේ බෙදා - හදා ගැනීම, ගෙවතු වගාව දිරි ගන්වමින් ශක්තිමත් පුරවැසියන් බිහි කිරීම සඳහා මග පෙන්වීම් සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලැබුවා. ඒ මග ඔස්සේ යමින් නෙත් එෆ් එම් රේඩියෝව මෙවර සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සමරනු ලබන්නේ, ශක්තිමත් දේශයක් යන තේමාව පෙරදැරි කරගෙනයි. 

අපේ දේ අගය කරමින් ශාරීරිකව හා මානසික වශයෙන් ශක්තිමත් ජාතියක් ලෙස අනාගතයට මුහුණ දීම සඳහා සියලූ රටවැසියන් පෙළ ගැස්වීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් ගෙන ඒමට නෙත් එෆ්. එම්. රේඩියෝව සූදානමින් සිටිනවා.

මේ අතර, මෙරට සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගයන් ලබා දීමට ද නෙත් එෆ්. එම්. රේඩියෝව නිරන්තර අවධානයෙන් කටයුතු කරනවා.

අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH උණ රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ රාශියක් නෙත් එෆ්. එම්. රේඩියෝවේ මැදිහත් වීමෙන් එම රෝහල වෙත ඊයේ (08) ප‍්‍රදානය කෙරුණා.

වෛද්‍යවරුන් සහ රෝගීන් අතර දුරස්ථ භාවය රඳවා ගනිමින් ප‍්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ කට්ටල, එක්ස්රේ නිරීක්ෂණ උපකරණ, සමස්ත රෝහලම සම්බන්ධීකරණය කෙරෙන සන්නිවේදන පද්ධතියක්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ පරිහරණය සඳහා අවශ්‍ය ඇඳන් සහ රෝහලට අවශ්‍ය පරිගණකයක් ඇතුළු උපකරණ රැසක් එලෙස පරිත්‍යාග කෙරුණු උපකරණ අතරට අයත්.

එමෙන්ම, එම රෝහලට අත්‍යාවශ්‍ය තිබූ ස්කෑන් යන්ත‍්‍රයක් ලබා දීමේ කටයුත්ත සඳහා ද නෙත් එෆ්. එම්. රේඩියෝව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම අදහස් පළ කරමින් සඳහන් කළේ විවිධ අවස්ථාවලදී ලැබුණු සහයන් සම්බන්ධයෙන් නෙත් රේඩියෝවට ස්තූතිය පුද කරන බවයි. 

මේ අතර, නෙත් එෆ්. එම්. රේඩියෝව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට බොහෝ දෙනෙකු යහපත් ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා.

එච් එච්කෝ ඉන්ඩස්ටී‍්‍රස් ආයතනය ද එලෙස ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර සමග එක් වූ තවත් ආයතනයක්. එම ආයතනය මගින් නිපද වූ ආරක්ෂිත හිස් වැස්මක් නව කොරෝනා මර්දන රාජකාරී සඳහා පෙරමුණ ගෙන සිටින කණ්ඩායම් වෙත පිරිනැමීමට ඔවුන් නෙත් එෆ්. එම්. රේඩියෝව සමග එක්ව සිටිනවා.

එච් එච්කෝ ඉන්ඩස්ටී‍්‍රස් ආයතනයේ හිමිකරු වන චින්තක ගනේගොඩ ඒ සම්බන්ධයෙන්  අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "මේක අලුත් නිර්මාණයක්. මේකෙ විශේෂත්වය තමයි නැවත නැවත භාවිතා කරන්න හැකි වීම. මේකට අපි කිසිඳු මුදලක් අය කරන්නේ නෑ. වෛද්‍යවරු, හෙද හෙදියන්, PHI නිලධාරීන්, ආරක්ෂක අංශ වෙත මේක පාවිච්චි කරන්න පුළුවන්." යනුවෙනි.