Saturday, April 20, 2024

General line - 0115112241

ගෙයින් ගෙට ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්න




ළදරුවන් සහ කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් කල් නොයවා වහාම කි‍්‍රයාත්මක කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇණහිට ඇති ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන තවදුරටත් කි‍්‍රයාත්මක නොවුණහොත් ඉදිරියේදී භයානක ප‍්‍රථිඵල අත්විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳ කරුණු දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ මෙම එන්නත් ලබාදීම ප්‍රමාද කළ හැක්කේ සති දෙකක් වැනි කාලයකට පමණක් බවයි. ඒ අනුව සියලු ආරක්ෂක විදිවිධානවලට අනුව එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවද සඳහන් කළා.

පවතින තත්ත්වය යටතේ දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ගෙයින් - ගෙට ගොස් කි‍්‍රයාත්මක කිරීමට වුව ද සිය සාමාජිකාවන් සූදානම් බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත්, ගෙයින් - ගෙට ගොස් ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට අවදානය යොමුව ඇතත් මෙතෙක් එය ප‍්‍රමාද වීම කණගාටුවට කරුණක් බව ද එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.