Wednesday, April 24, 2024

General line - 0115112241

වැඩියෙන්ම බොන්නේ බෞද්ධ රටවල්




කලාපය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහලින්ම සිටින බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

මද්‍යසාර භාවිතය පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතා කරන පුද්ගලයෙකු වසරකට ලීටර් 21 කට ආසන්න මත්පැන් ප්‍රමාණයක් පානය කරන බවයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 80% ක් පමණ මද්‍යසාර භාවිතා නොකළත් මද්‍යසාර භාවිතා කරන සෙසු පිරිස විසින් පරිභෝජනය කරනු ලබන මත්පැන් ප්‍රමාණය අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉහළ අගයක් ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

“මද්‍යසාර පානය කරන පිරිස සියයට විස්සක් වුනත් ඒ අය භාවිතා කරන මත්පැන් ප්‍රමාණය ඉතාමත් වැඩියි. අනිත් රටවල්වලට වඩා පස් ගුණයකටත් වඩා වැඩියි. ආසියාවේ ශ්‍රී ලංකාව හා තායිලන්තයේ තමයි වැඩිපුරම එක් පුද්ගලයෙක් බොන්නේ. බටහිර රටවල ජනගහනයෙන් 95% ක් පමණ මද්‍යසාර භාවිතා කළත් ඔවුන්ගෙන් එක් අයකු සාමාන්‍යයෙන් වසරකට පානය කරන්නේ මත්පැන් ලීටර් 3.5 ක් පමණයි.” යනුවෙන් ඔහු පවසනවා.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් 2% පමණ මද්‍යසාරවලට ඇබ්බැහි වී තිබෙන බවත් වැඩිහිටි පිරිමින්ගෙන් 38% ක් පමණ මද්‍යසාර පානය කරන බවත් පාලිත අබේකෝන් පෙන්වා දෙනවා.

පසුගිය රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේද මතට තිත තැබීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතයේ අඩු වීමක් සිදු වී නොමැති බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ.