Saturday, April 20, 2024

General line - 0115112241

විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව පියවර රැසක් ගෙන ඇති බව දැනුම් දෙයි




කොවිඩ් -19 වෛරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත් වී කටයුතු කිරීමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව  විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු  සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතා කර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබෙන බවයි දැනුම් දෙන්නේ.

එම විදේශ දූත මණ්ඩල  16 ක පිහිටි කම්කරු  සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත් වනවා. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්.

මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරීම සදහා, විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ගත් තීරණයකට අනුව  තවත් රුපියල් මිලියන අටක ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසයි දන්වා ඇත්තේ. 

එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරනු ඇති.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනීමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබෙන බවයි දන්වා සිටින්නේ. 

සේවා නියුක්ති කාර්යාංශයේ Face book පිටුව හරහා ප්‍රචාරය කිරිම මගින් විගමණික ශ්‍රමිකයිට වෛරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වට්ස්ඇප් සමුහ කණ්ඩායමක් ( whatsApp Group ) ආරම්භ කර එමගින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරීම සාර්ථකව සිදුකිරීම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට ක්ෂණිකව විසඳුම් ලබාදී ඇති බවද දැනුම් දෙනවා.