Thursday, April 25, 2024

General line - 0115112241

පාසල් විභාග ගැන පැහැදිළි කරයි




එළඹෙන අගෝස්තු මාසයේදී නියමිත පරිදි අ.පො.ස. උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක පැවසුවේ මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් අතපසු වී ඇති පාඩම් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් සිසුන්ට සාධාරණයක් වන පරිදි එම විභාග පැවැත්වීමට කටයුතු යොදන බවයි.

ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

දැනට සැලසුම් කර ඇති පරිදි මැයි මස 11 වනදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමේ හැකියාවක් ඇද්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ සිය අරමුණ හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම බවයි. කෙසේවෙතත් සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් සඳහන් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමට අදාළ කරගන්නා විෂය නිර්දේශය කල් ඇතිව ප‍්‍රකාශයට පත් කිරීම වැදගත් වන බවයි මෙම වැඩසටහනට එක් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන් පෙන්වා දුන්නේ.

 

(ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)