Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා සටන ජයගත් නවසීලන්තය රට විවෘත කිරීමට සුදානම් - කොරෝනා හේතුවෙන් වැසුනු ලොව පුරා රටවල් යළිත් ඇරේ




කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටන තම රට ජයගත් බව නවසීලන්තය පවසනවා. 

එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් පවසන්නේ නවසීලන්තයෙන් මේ වනවිට මූලාශ‍්‍රයක් නොමැති අලූතින් කොරෝනා රෝගීන් වාර්තා වන තත්ත්වයක් නොමැති බවයි. 

ගත වූ පැය විසිහතරේද නවසීලන්තයෙන් රෝගීන් 9 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර කිසිදු මරණයක් වාර්තා වි නැහැ. ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයේ සිට රටම වසා දමමින් ගෙන ඇති දැඩි සීමා රැසක් ලිහිල් කිරීමට නවසීලන්තයේ අවධානය යොමුව තිබෙනවා. 

කොරෝනා තුරන් කිරීමේ ඉලක්ක නවසීලන්තය සපුරා ඇති බව පවසන එරට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් දන්වා සිටින්නේ වෛසරය සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවට නොසිතන ලෙසයි. 

මේ වනවිට නවසීලන්තයෙන් කොරෝනා රෝගීන් 1,486 ක් වාර්තා වන අතර ඉන් සියයට 80ක්ම මේ වනවිටත් සුවය ලබා අවසන්.

මේ අතර කොරෝනා අවදානමත් සමග තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා. කොණ්ඩ සැකසුම් ස්ථාන සහ රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට ඊශ‍්‍රායල් සහ ස්වීඩන් බලධාරීන් තීරණය කර ඇත්තේ මේ අතරතුරයි. 

වාඩි වී ආහාර ගැනීමට සීමා පනවා ඇතත් රැුගෙන යාම සදහා ආහාර අළෙවි කිරීමටද ඊශ‍්‍රයාලය අවන්හල්වලට අවස්ථාව ලබාදි තිබෙනවා. දැඩි රෙගුලාසි මත ව්‍යාපාර විවෘත කිරීමට අවසර ලබාදී ඇති අතර ඒවා කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද නියමිතයි. 

කොරෝනා වසංගතයත් සමග පනවා ඇති දැඩි සීමා ලිහිල් කිරීමට ලෙබනනයද තීරණය කර තිබෙනවා.  
                  
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද යළි සිය රාජකාරී ආරම්භ කර තිබෙනවා. ඒ, වෛරසය ආසාදනය වී මාසයකට ආසන්න කාලයකට පසුවයි. 

වෛරසය ආසාදනයවීම හේතුවෙන් ලන්ඩන් නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ දින 3 ක් ගත කළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට ඉතා යහපත් බව බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රධානීන් පවසා තිබෙනවා.