Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී මිය ගිය ගණනත් ඉක්මවා යයි




ගත වූ මාස 03 ක කාලය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් ගණන, වියට්නාම යුද්ධයේදී මියගිය අමෙරිකානුවන් ගණන ද ඉක්මා ගොස් ඇති බව හෙළිව තිබෙනවා.

ඒ,  ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මගින් යාවත්කාලීන කළ නවතම දත්ත වාර්තාවන්ට අනුවයි. වසර 10 ක් පුරා පැවති වියට්නාම යුද්ධයේදී මියගොස් ඇති අමෙරිකානුවන් ගණන 58,220 ක්. එහෙත්, ගත වූ දින 82 ක කාලය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් පමණක් අමෙරිකාවේ පුද්ගලයින් 58,365 දෙනෙකු මියගොස් තිබෙනවා. 

අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ගත වූ දින 18 ක කාලය තුළ දෙගුණ වී ඇති අතර, එම සංඛ්‍යාව ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණනින් තුනෙන් එකක් ලෙස සැලකිය හැකියි. 

ඒ අතරින් ද සියයට 30 ක් පමණ කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ, නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන්. මීට අමතරව නිව් ජර්සි, මැසචුසෙට්ස්, කැලිෆෝනියා සහ පෙන්සිල්වේනියා ප‍්‍රාන්තවලින් ද වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වනවා.

අමෙරිකාවට පසු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් වන්නේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයයි. නමුත් අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන, එම රටවල්වලට ද වඩා පස් ගුණයකින් ඉහළ බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ගත වූ පැය 24 තුළ ද අමෙරිකාවෙන් කොරෝනා මරණ 2,470 ක් වාර්තා වී ඇති අතර එම කාලය තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 25,409 ක්. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 59,266 ක් වනවා.

එරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන දසලක්ෂ 35,765 ක්. මේ වනවිට ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ 17,813 ක් සහ කොරෝනා ආසාදිතයින් තිස්එක්ලක්ෂ 36,507 ක් වාර්තා වනවා.