Thursday, April 25, 2024

General line - 0115112241

දිගු කාලයකට නවසීලන්තයේ දොරටු විදේශිකයන්ට වැසේ




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිගු කලක් ගතවන තුරු විදේශිකයින් සඳහා නවසීලන්තයේ දොරටු විවර නොවෙනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් පවසනවා. 

ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති ඔස්ටේ්‍රලියානු කැබිනට් හමුවකට සහභාගී වෙමින්. ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම කැබිනට් හමුව සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබුණේ වීඩියෝ තාක්ෂණය හරහායි. 

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බිඳ වැටුණු දෙරට අතර සංචාරක, ආර්ථික හා සංස්කෘතික කටයුතු යළි නගා සිටුවීම සම්බන්ධයෙන්  මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා. 

නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව මේවනවිටත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ඇති බැවින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ද, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සඳහා මුලිකත්වය ලබාදිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ. 

එසේම නවසීලන්තය හා ඔස්ටේ්‍රලියාව අතර නිරෝධායනයකින් තොරව නිදහසේ සංචාරය කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 
 
මේ අතර ඉකුත් සති 02 තුලදී රුසියානු වෛද්‍යවරුන් තිදෙනෙකු එරට රෝහල් කවුළුවලින් අභිරහස් ලෙස ඇදවැටීමේ සිද්ධියක් ජාත්‍යන්තරය තුළ දැඩි කථාබහට ලක්ව තිබෙනවා. 

අදාළ සිද්ධිවලින් වෛද්‍යවරුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් වෛද්‍යවරයාගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මෙම සිද්ධිය හේතුවෙන් නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රුසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල වෙනුවෙන් පවතින පහසුකම් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබෙනවා. 

මේ අතර මාර්තු 24 වනදායින් පසු පළමුවරට ඊයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මත්පැන් අලෙවිසැල් විවෘත කෙරුණා. එහෙත් මත්පැන් අලෙවිසැල් විවෘත කර පැය කිහිපයකින් එම වෙළඳසැල් යළි වසා දැමීමට බලධාරීන්ට සිදුවූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමග ඒ අසල දිගු පෝලිම් පැවතීම හා පෝලිම්වල සිටි පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම ඊට හේතුව වී තිබුණා.