Thursday, April 25, 2024

General line - 0115112241

ලොක් ඩවුන් නීතිය නොතකා රූපලාවන්‍යාගාරයක් විවෘත කළ සේවා සැපයූ කාන්තාවකට සිර දඬුවම්




රට වසාදමමින් පනවා තිබූ නීති නොතකා රූපලාවන්‍යාගාරයක් විවෘත කර තැබුනු අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඩලස් නගරයේ කාන්තාවකට අධිකරණය මගින් සතියක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය නොවන සේවා සපයන සියලූ ආයතන වසා දැමීමට ප‍්‍රාන්ත බලධාරීන් නියෝග කර තිබුණා. එහෙත් එම නියෝග නොතකා තමන්ට අයත් රූපලාවාන්‍යාගාරය විවෘත කර තැබීමටයි මෙම කාන්තාව පියවර ගෙන තිබුණේ. 

ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සමාව අයැදීමට සූදානම් නම් සිරදඬුවම් නියම නොකර දඩමුදලක් පැනවීමට හැකි බව විනිසුරුවරයා සැකකාරියට පවසා තිබුණා. 

එහෙත්, අධිකරණයෙන් සමාව අයැදීම ප‍්‍රතික්ෂේප කළ එම කාන්තාව පවසා ඇත්තේ දරුවන්ගේ කුසගින්න නිවීමේ අරමුණින් රූපලාවන්‍යගාරය විවෘත කර තැබීම ආත්මාර්ථකාමීත්වය නොවන බවයි. 

ඒ අනුව සැකකාරිය හට සතියක සිරදඬුවමක් පනවා අමෙරිකානු ඩොලර් 7,000 ක දඩ මුදලක් පැනවීමට ද අධිකරණය තීන්දු කළා. තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සැකකාරියට පවසා තිබුණේ නීතියේ ආධිපත්‍ය මගින් පුද්ගලයින් පාලනය කරන බවයි. 

එය නොතකා තමන්ට රිසේ දේ මෙන්ම නොකළ යුතු දේ සිදුකිරීම පිළිගත නොහැකි බව ද විනිසුරුවරයා අවධාරණය කර තිබෙනවා. ප‍්‍රාන්තය විවෘත කරන ලෙසට ඉකුත් දා පැවැති මහජන විරෝධතාවලට ද අදාල කාන්තාව සහභාගී වී ඇතැයි පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා. 

මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන තිස්අට ලක්ෂ 20, 869 ක් වනවා. ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන දෙලක්ෂ 65, 098 ක්. ඉන් මරණ 74, 809 ක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.