Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා




ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් අතර සෞඛ්‍ය අමාත්‍යවරයාද සිටින බවයි. ඇෆ්ගනිස්ථානයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 3,563 ක් සහ මරණ 106 ක් වාර්තා වනවා.

මේ අතර කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අපි‍්‍රකාවේ පුද්ගලයින් එක් ලක්‍ෂ 90,000 මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කඩිනම් පියවර නොගතහොත් කොරෝනා වෛරසයේ පළමු වසර තුළදී අපි‍්‍රකානුවන් මිලියන 29 ත් 44 ත් අතර සංඛයාවකට වෛරසය ආසාදනය වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද කියාසිටියේ කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතයත් සමග වෛරයේ සහ ද්වේශයේ සුනාමියක් ඇති වී තිබෙන බවයි. වෛරී කි‍්‍රයාමාර්ග සහ ප‍්‍රකාශ පරාජය කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙහිදී පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කළේ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමෙරිකාව, චීනයට දිගින් දිගටම චෝදනා කරමින් සිටින පසුබිමකයි. 

මේ අතර රටම වසා දමා ඇති අවස්ථවේ සංක‍්‍රමණික කම්කරුවන් 15 දෙනෙකු දුම්රියකට යටවීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් අද වාර්තා වුණා. 

කොරෝනා වෛරසය හේතුවෙන් දුම්රිය ධාවනය අත්හිටුවා ඇති පසුබිමක දුම්රිය ධාවනය නොවනු ඇතැයි සිතා ඔවුන් දුම්රිය මාර්ගය මත නිදාගෙන සිට තිබෙනවා. ඔවුන් යටකර ධාවනය වී ඇත්තේ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක්.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 56,516 ක් දක්වා අද ඉහළ යද්දී පකිස්තානයෙන්ද දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ගතවු පැය 24 වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 1,764 ක්.

මේ අතර දෙවන ලෝක යුද්ධය අවසන් වී 75 වන සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අද යුරෝපය පුරා කි‍්‍රයාත්මක වූයේ කොරෝනා වෛරසය හේතුවෙන් පැනවූ දැඩි සීමා මධ්‍යයේයි.

මේ අතර මෙම වසරේ ඉතිරි කාලයද සිය සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ ලබාදීමට ෆේස්බුක් සහ ගූගල් සමාගම් අද තීරණය කළා.