Tuesday, April 16, 2024

General line - 0115112241

දරුවන් නොමැති නිසා ඉන්දියාවේ මාර්ගයක සිටි දරුවෙක් පැහැරගෙන




පැහැර ගැනීමට ලක්වූ දරුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 22 දෙදෙනෙකු නිරෝධායනයට ලක් කිරීමේ පුවතක් ඉන්දියාවේ හයිද්‍රබාද් නුවරින් වාර්තා වුණා. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අවුරුදු එකහමාරක් වයසැති පිරිමි දරුවෙක්. 

එම දරුවා තම 22 හැවිරිදි මව සමග ජීවත්ව ඇත්තේ හයිද්‍රබාද් නුවර පදිකවේදිකාවකයි. දරුවාගේ මව මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූ කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ. දරුවා අතුරුදන් වූ දිනයේදී ද, ඇය දරුවා අතහැර පිටව ගොස් ඇති බව පොලීසිය විසින් අනාවරණ කර ගෙන තිබෙනවා. එහෙත් මව, පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තමන් නිදා සිටි අවස්ථාවක දරුවා පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි.

කෙසේවෙතත් දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණවලදී නගරයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධති පරීක්ෂා කර තිබුණා. එහිදී අනාවරණ වුණේ කිසියම් පුද්ගලයෙකු දරුවා හට පළතුරු ලබාදී සිය යතුරු පැදියේ නංවා ගෙන දරුවා රැගෙන ගොස් ඇති බවයි. මෙලෙස දරුවා පැහැර ගෙන තිබුණේ 27 හැවිරිදි පුද්ගලයෙක්.

සිය බිරිඳ ප‍්‍රසූත කළ පිරිමි දරුවන් සියලූදෙනා යම්කිසි රෝගයකින් මියයාම නිසා පිරිමි දරුවෙකු හට තිබූ කැමැත්ත හේතුවෙන් සැකකරු මෙම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවා රැකබලා ගැනීමට මව සුදුසු නොමැති බව නිගමනය කළ පොලීසිය එම දරුවා ළමා සුභසාධන දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ. එහිදී දරුවා පෙන්නුම් කළ සැකසහිත රෝග ලක්ෂණ හමුවේ සිදු කෙරුණු පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම දරුවා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

ඒ හමුවේ දරුවා අතුරුදන්ව සිටි අවස්ථාවේදී ඔහු සොයා ගැනීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ පොලිස් නිලධාරීන්, දරුවාගේ මව, දරුවා පැහැර ගත් පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළු පුද්ගලයින් 22 දෙදෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් පියවර ගත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.