Thursday, April 18, 2024

General line - 0115112241

කොරෝනා ප්‍රහාරය මැද බ්‍රසීලය බිඳ වැටේ




කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මේවනවිට බ‍්‍රසීලයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට විශාලතම නගරය වන සා ඕ පෝලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉතා ආසන්න බවයි. 

දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම මීට හේතුවී තිබෙනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බ‍්‍රසීලයේ තත්ත්වය එසේ තිබියදී එරට ජනාධිපති ජේර් බොල්සනාරෝගේ කි‍්‍රයාකලාපය පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයකයි. 

රට තුළ වර්ධනය වෙමින් ඇති වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් සහ ආණ්ඩුකාරවරුන් පනවන සමාජ සංචරන සීමා පවා නොතකන ජනාධිපතිවරයා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම පවා ප‍්‍රතික්ෂේප කරමින් කටයුතු කරමින් සිටිනවා.

ඊයේ සිය කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවක් මෙහෙයවූ පිරිසක් අතරට පැමිණි බ‍්‍රසීල ජනාධිපතිවරයා විරෝධතාකරුවන් අතරට පැමිණ සෙල්ෆි ඡායාරූප ලබාගැනීම ජාත්‍යන්තර තුළ දැඩි කථාබහට ලක්වුණා. 

අදාළ විරෝධතාකරුවන් අතර වැඩිහිටි පිරිස් මෙන්ම ළමුන් ද සිටීම විශේෂත්වයක්. 

නව කොරෝන වෛරසයේ ව්‍යාප්තියත් සමග ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයන් හමුවේ බ‍්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුම මේවනවිට ඉල්ලා අස්වී තිබෙනවා.
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ රටවසා දැමීම සඳහා වන ඇතැම් නීති පැනවීමට ආණ්ඩුකාරවරුන් පියවර ගත්තත්, ඒවා ප‍්‍රතික්ෂේප කරන බ‍්‍රසීල ජනාධිපතිවරයා පවසන්නේ රට වසා දැමීමට පනවන නීති හමුවේ ආර්ථිකයට සිදුවන හානිය වෛරසයට වඩා බරපතල විය හැකි බවයි.

කෙසේවෙතත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අතින් ලොව 05 වන ස්ථානයේ පසුවන රට බවට මේවනවිට බ‍්‍රසීලය පත්ව තිබෙනවා. බ‍්‍රසීලයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 41,080 ක් වාර්තා වන්නේ පුද්ගල මරණ 16,122 ක්ද සමගයි.