Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා රෝග ලක්‍ෂණ සහිතව හෝමාගමට ගිය කාන්තාව ගැන පරීක්‍ෂණයක් - තවත් අයෙකුවත් සොයයි




කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ තිබීම හේතුවෙන්. ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම් හලෙන් පිටව ගොස් තිබුණා. ඔහුගේ යැයි සැක කෙරෙන ගමන් මල්ලක තිබී ආරක්‍ෂක අංශයට සම්බන්ධ නිල ඇදුම් සොයාගත් බව පොලීසිය සදහන් කළා. අදාළ පුද්ගලයා සොයා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇය ඊයේ  දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබුණා. ඇය අලව්ව ප‍්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක්.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර පැවසුවේ මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.

ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බවත් මෙම ලැගුම්හලද අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවත් ඔහු සදහන් කළා. එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 1,055 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ වෛරසය ආසාදනය වී සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 604 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.