Friday, March 29, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට දින 14 ක අනිවාර්ය ස්වයං නිරෝධායනයක්




ලබන මස 08 වනදා සිට බි‍්‍රතාන්‍යයට පැමිණෙන සංචාරකයින් දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක් විය යුතු බව, එරට රජය තීරණය කර තිබෙනවා. බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ප‍්‍රීටි පටෙල් පැවසුවේ දේශ සීමා හරහා ගමන් කරන පුද්ගලයින් හැකිතාක් අවම කිරීම මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි.

මෙම ස්වයං නිරෝධායන නීති මග හරින පුද්ගලයින්ට පවුම් දහසක දඩ මුදලක් ගෙවීමට ද සිදු වනු ඇති. කෙසේ වෙතත්, අයර්ලන්තයේ සිට පැමිණෙන්නන්ට, වෛද්‍යවරුන්, ගොවිපළ සේවකයින් සහ ලොරි රථ රියදුරන්ට බාධාවකින් තොරව දේශ සීමා හරහා ගමන් කළ හැකි බව ද බි‍්‍රතාන්‍ය රජය නිවේදනය කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා දක්වා බල පැවැත්වුණු පේරු රාජ්‍යයට පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට එරට රජය තීරණය කළා. කොරෝනා ව්‍යාප්තියත් සමග එරට දේශසීමා වසා දැමුණේ පසුගිය මාර්තු මස 15 වනදා සිටයි. පේරු රාජ්‍යයේ සියලූ ජනතාව අනිවාර්ය ස්වයං නිරෝධායනයකට ද ලක් කිරීමටයි එරට රජය පියවර ගනු ලැබුවේ. 

මේ අතර ගත වූ පැය 24 තුළ පමණක් බ‍්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් විසිදහසකට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කාලය තුළදී බ‍්‍රසීලයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,969 ක්. 

එමෙන්ම, ගත වූ පැය 24 ක කාලය තුළ අසල්වැසි ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 6,568 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම කාලය තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 142 ක්. ගත වූ පැය 24 තුළ බංග්ලාදේශයෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 1,694 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එම කාල සීමාව තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 24 ක්. ඒ අනුව බංග්ලාදේශයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 30,426 ක් වන අතර එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 432 ක් වනවා.