Wednesday, April 24, 2024

General line - 0115112241

ආර්ථික බලපෑම් නිසා ස්පාඤ්ඤය දැඩි නිරෝධායන සීමා ලිහිල් කරයි




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ ස්පාඤ්ඤයේ දේශ සීමා, ලබන ජූලි මාසයේ සිට යළි සංචාරකයින් සඳහා විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කළේ ජූලි මාසයේ සිට සංචාරක කටයුතු ආරක්ෂිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම තීරණය හේතුවෙන් සංචාරකයින්ට හෝ ස්පාඤ්ඤයට කිසිදු අවදානමක් නොමැති බවට සහතික වන බවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ස්පාඤ්ඤ රජය මෙම තීරණයට එළඹ ඇත්තේ, දැඩි නිරෝධායන සීමා හේතුවෙන් එරට ආර්ථිකය පහතට ඇද දැමුවේ යැයි චෝදනා කරමින් ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ට ඉල්ලා අස් වන ලෙස බල කරමින් සිටින පරිසරයක් තුළයි. 

ස්පාඤ්යේ සමස්ත ආර්ථිකයෙන් අටෙන් එකක් පමණ සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායමෙන් ශක්තිමත් වන අතර කොරෝනා ව්‍යාප්තියත් සමග එරට ආර්ථිකය සියයට 12 ක් දක්වා පහත බසිනු ඇති බවට ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා. මාර්තු මාසයේ සිට ස්පාඤ්ඤයට ඇඳිරි නීතිය පැනවීමත් සමග හෝටල් පරිශ්‍ර, අවන්හල්, වෙරළ සහ විවේක උද්‍යාන වැනි සියලු ස්ථාන වසා දැමුණා. ඒ සමගම මේ වනවිට ස්පාඤ්ඤයේ මිලියනයකට අධික පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

මේ වනවිට ලොව වැඩිම නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් ස්පාඤ්ඤයට හිමි වන්නේ සිව්වන ස්ථානයයි. එරටින් හඳුනාගෙන ඇති මුළු නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 82,370ක් වන අතර නව්‍ය කොරෝනා මරණ 28,678 ක් ද එරටින් වාර්තා වනවා.

මේ වනවිට ලොව පුරා වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන පනස් හතරලක්ෂ එක්දහස් දෙසිය විසි දෙකක්. නව්‍ය කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මරණ තුන්ලක්ෂ 43,799 ක් ද වාර්තා වී තිබෙනවා.