Friday, April 19, 2024

General line - 0115112241

නිරෝධායන නීති උල්ලංගනය කළ ජනපතිවරයෙක් සමාව අයදියි




නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ටි‍්‍රයාවට පනවා ඇති නිරෝධායන නීති තමා විසින්ම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව අයැද තිබෙනවා.

ඒ, රාත‍්‍රී 11.00 වන විට අවන්හල් සහ හෝටල් වසා දැමිය යුතු වුවත්, එම වේලාව ඉක්මවූ පසුත් ඔස්ටි‍්‍රයානු ජනාධිපතිවරයා වියානා අගනුවර අවන්හලක සිට තිබීම හේතුවෙන්.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ, අවන්හලකදී තමන් සිය බිරිඳ සහ මිතුරන් දෙදෙනෙකු සමග පිළිසඳරක යෙදෙමින් සිටීම හේතුවෙන්, තමාට කාලය ගෙවී යනු නොදැනුණු බැවින් එම වරද සිදු වූ බවයි. ඔස්ටි‍්‍රයාවට පනවා ඇති නිරෝධායන නීිති අනුව, රාත‍්‍රී 11.00 න් පසු විවෘතව තැබෙන අවන්හල් සහ හෝටල් සඳහා නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ දඩ මුදලක් පැනවෙනවා.

තමන් නිසා විවෘත කර තිබූ එම අවන්හලට එවැනි දඩ මුදලක් පැනවෙන්නේ නම් හෝ අවහන්හලේ හිමිකරුට අලාභයක් සිදු වන්නේ නම්, තමා එහි වගකීම භාර ගැනීමට සූදානම් බවයි ඔස්ටි‍්‍රයානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග, ඉතාලිය අනුගමනය කරමින් රට පුරා දැඩි නිරෝධායන නීති පැනවූ පළමු යුරෝපා රටවල් අතරට ඔස්ටි‍්‍රයාව ද ඇතුළත්. එම සීමාවන් ලිහිල් කිරීම ද ආරම්භ කළ පළමු යුරෝපා රටක් ලෙසයි ඔස්ටි‍්‍රයාව සැලකෙන්නේ. 

මාර්තු මාසය ආරම්භ වීමත් සමගම පුද්ගලයින් 10 දෙනෙකුට නොවැඩි ගණනකට එක් ස්ථානයකට රැස්ව සිටීමට එරට රජය අවසර ලබා දුන්නා. පොදු උද්‍යාන, සාප්පු සංකීර්ණ සහ වෙළඳ මධ්‍යස්ථාන විවෘත කිරීමට ඔස්ටි‍්‍රයානු රජය අවසර ලබා දුන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේ සිටයි.