Thursday, April 25, 2024

General line - 0115112241

විදෙස් ගත ලාංකිකයින් යළි ගෙන්වා ගන්නේ කොවිඩ්-19 නිසාම නොවන බව කියයි




විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් තවදුරටත් මව්බිමට ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා නව ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මව්බිමට ගෙන්වා ගැනීමට පෙර ඔවුන් දැනට සිටින රටවලදීම PCR පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි මෙහිදී යෝජනා කෙරුණේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කළා.

විදේශයන්හි සිට මව්බිමට ගෙන්වා ගැනෙන පිරිස් සමග ගැටෙන කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීම පිළිබඳ නෙත් නිවුස් විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළා. එහි ලේකම් රවිනාථ ආරියසිංහ පැවසුවේ බොහෝ පිරිස් යළිත් මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ කොවිඞ් 19 වසංගතය නිසාම නොව මෙම වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වීම සහ ඇතිවී තිබෙන සෙසු අපහසුතා නිසා බවයි.

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් 35,000ක් පමණ මව්බිමට යළි පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව මුලින් ප‍්‍රකාශ වුණා. එහෙත් සැබෑ ලෙසම ශ‍්‍රී ලංකාවට පැමිනෙනු ඇත්තේ ඊට වඩා සැලකිය යුතු තරම් අඩු ප‍්‍රමාණයක් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදෙස්ගතව සිට මව්බිමට පැමිණි ඇතැම් පිරිසක් නව්‍ය කොරෝනා ආසාධිත බවට හඳුනාගැනුනත් ඔවුන්ගෙන් රටට තර්ජනයක් ඇති නොවන පරිදි වගකීමෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවා ඒ නිසා විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් බිය හෝ සැක ඇති කර ගත යුතු නොමැති බවයි ඇය අවධාරණය කළේ.