Wednesday, April 24, 2024

General line - 0115112241

තවත් සිද්ධියක් ගැන රාජිතගෙන් ප්‍රකාශයක් ගනී




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්  කොළඹ අපරාධ කොට්ඨාශය අද (28) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මස 17 වනදා කරන ලද මහජන කැළඹීමක් ඇති කළ හැකි ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයාගෙන් මෙම ප‍්‍රකාශය ලබා ගැනෙන්නේ.

ප‍්‍රමුඛ පෙළේ පාසලක සිසුන් 25 දෙනෙකුට නව්‍ය කොරෝනා ආසාදනය වී ඇතැයි හිටපු අමාත්‍යවරයා එදින ප‍්‍රකාශ කර තිබෙනවා. 
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කළේ. 

ඊට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය අලූත්කඬේ අංක 4 මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබෙනවා. හිටපු අමාත්‍යවරයා දැනට රඳවා සිටින මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ දී මෙම ප‍්‍රකාශය ලබා ගැනීමට නියමිතයි.

මේ අතර කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. හිටපු මන්තී‍්‍රවරයාගේ තලාහේන පිහිටි කාර්යාලයේදී හෙට (29) පෙරවරුවේ මෙම ප‍්‍රකාශය ලබා ගැනීමට නියමිතයි.

ඉකුත් මාර්තු මස 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ වන විට ශී‍්‍ර ලංකාවේ කොවිඞ්- 19 රෝගීන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ෆිීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාශය හෙට ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇත්තේ ඒ සම්බන්ධයෙන්.