Saturday, April 20, 2024

General line - 0115112241

ගල් කැට ආධාරයෙන් විසි කළ හෙරොයින් පැකට් 05ක් හසු වේ




කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ගල්කැටයක් ආධාරයෙන් වැලිකඩ බන්ධනාගාරයේ Y O වාට්ටුව දෙසට විසි කෙරුණු කුඩා හෙරොයින් පැකට් 5ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැදවූවන් කිහිප දෙනෙකු මෙම ජාවාරම සිදුකරන බවටයි  සැක කෙරෙන්නේ.

ඔවුන් පිටතින් බන්ධනාගාරයට හෙරොයින් ගෙන්වා ගෙන මෙලෙස වැලිකඩ බන්ධනාගාරය දෙසට විසිකරන බවට ද සැක කෙරෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ Y O වාට්ටුවේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරවන් වූ 40 දෙනෙකු පමණ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. ඔවුන් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැදවූවන් සමග දුරකතන හරහා සම්බන්ධතා පවත්වන බවද වාර්තා වුණා.

එහිදී ඇතිකර ගන්න එකගතා අනුව Y O වාට්ටුවේ සිරකරුවන් පෙරවරුවේ එළියට පැමිණෙන අවස්ථාවේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින රැදවූවන් හෙරොයින් විසි කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. 

මීට  දින කිහිපයකට පෙරද හෙරොයින් ටෙනිස් බෝලයක් තුළ සඟවා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට වැලිකඩ Y O වාට්ටුව දෙසට විසි කර තිබු අතර ඒවා ද බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනුනු හෙරොයින් පැකට් වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දීමට නියමිතයි.