Thursday, April 25, 2024

General line - 0115112241

පවතින තත්ත්වය යටතේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන නිවෙස්වල සිදු නොකළ යුතු කරුණු පැහැදිළි කරයි




ජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී අවමංගල්‍ය උත්සවවල දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

අවමංගල්‍යය උත්සව හැකි පමණ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසයි මෙමගින් නිර්දේශ කර ඇත්තේ. අවම දින ගණනකදී චාරිත‍්‍ර සම්පූර්ණ කර අවසන් කටයුතු සිදු කරන ලෙසද, අවමංගල්‍ය නිවසේදී සියලූ දෙනා මුව ආවරණ පැළඳ සිටීමට වග බලා ගන්නා ලෙස ද නිර්දේශ කර තිබෙනවා.

අවමංගල්‍ය නිවසට පිවිසෙන ස්ථානයේ අත් සෝදා ගැනීම සඳහා පහසුකම්ද සලසා තිබිය යුතුයි. පුටු ස්ථාන ගත කිරීමේ දී ඒවා අතර අවම වශයෙන් මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙසද මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා. 

අවමංගල්‍ය නිවසේ දාම්, කැරම්, කාඞ් වැනි ක‍්‍රීඩාවල යෙදීමට ඉඩ නොදිය යුතු බවයි මෙමගින් වැඩිදුරටත් උපදෙස් දී තිබෙන්නේ.

මත්පැන් පානය, දුම්පානය සහ බුලත් විට ආහාරයට ගැනීමටද අවමංගල්‍ය නිවසේ ඉඩනොදී යුතු බව අවධාරණය කර තිබෙනවා. 

අවමංගල්‍ය සඳහා පැමිණෙන්නන්ට සංග‍්‍රහ කරන්නේ නම් ඒ සඳහා ඉවත දැමිය හැකි කෝප්පයක උණුසුම් පාන වර්ගයක් පමණක් ලබාදෙන ලෙසයි නිර්දේශ කර තිබෙන්නේ. භාවිත කිරීමෙන් පසු කෝප්ප බැහැර කිරීමට කසල බඳුනක් සූදානම් කර තබන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

නිතර නිතර ස්පර්ශවන පෘෂ්ඨ නැවත නැවත විෂබීජහරණය කිරීමටද කටයුතු කළ යුතුයි.

අවමංගල්‍ය සඳහා සහභාගි වන්නන් විසින් පිළිපැදිය යුතු උපදෙස් සමහරක් ද මෙම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් වනවා. අත්‍යවශ්‍ය නොවේ නම් අවමංගල්‍ය සඳහා සහභාගි නොවන ලෙසයි එයින් යෝජනා කර ඇත්තේ. දුරකතන ඇමතුම්, ඊමේල් හෝ වෙනත් ක‍්‍රම මගින් ශෝකය ප‍්‍රකාශ කළ හැකි බවද පෙන්වා දී තිබෙනවා. අවමංගල්‍ය නිවසට ගියත් එහි අවම කාලයක් ගත කරන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. පුද්ගලයින් ස්පර්ශ කිරීමෙන් වැළකී පුද්ගල දුරස්ථභාවය සෑම විටම පවත්වා ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා. ඒ අනුව වැළඳ ගැනීම හෝ සිප ගැනීම නොකළ යුතුයි. අවමංගල්‍ය නිවසට ඇතුළුවන විට අත් සේදීමට ද ආපසු පැමිණි පසු වහාම ස්නානය කර පිරිසුදු වන ලෙසද මෙමගින් උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් කොවිඞ් 19 රෝගය සිදුවන මරණ සඳහා අවමංගල්‍ය කටයුතු තවදුරටත් සිදු වන්නේ මීට පෙර නිකුත් කෙරුණු චක‍්‍රලේඛයට අනුව බවයි මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.