Friday, March 29, 2024

General line - 0115112241

උපකාරක පංතිවලටත් මාර්ගෝපදේශ මාලාවක්




ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබියදී පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව සිසුන් ඒකරාශී කොට පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්තිවලට වඩා දුරස්ථ ඉගෙනුම් ක‍්‍රමයක් හරහා ඉගැන්වීම් ප‍්‍රවර්ධනය කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

තැපැල් සේවය හරහා දේශන සටහන් සහ පැවරුම් නිවසට යැවීමෙන් හෝ සුදුසු අන්තර්ජාල ක‍්‍රම ඊට භාවිත කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ එම මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත්. පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට බලධාරීන් අවසර ලබාදෙන අවස්ථාවේ හදිසි ප‍්‍රතිචාර සැලැස්මක් ද තබා ගත යුතුයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඇතුළු ප‍්‍රදේශයේ සියලූම හදිසි ඇමතුම් අංක එහිදී ප‍්‍රදර්ශනය කළ යුතු බවයි උපකාරක පන්ති සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත් වන්නේ. 

පෞද්ගලික උපකාරක පන්ති විවෘත කිරීමට පෙර සියලූම මේස, බංකු, නිතර සම්බන්ධවන පෘෂ්ඨයන්, දොරවල් හසුරුවන ස්ථාන සහ පඩිපෙළ වැනි දෑ නිතර පිරිසිදු කළ යුතුයි. ඒ සඳහා සබන් හා පිරිසිදුකාරක දියර භාවිත කළ හැකි වනවා. මෙය සෑම පන්ති සැසියක් ආරම්භයට පෙරම සිදුකළ යුතු බවයි එම මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ. 

උපකාරක පන්ති සඳහා අවසර ලබාදුන් විට සිසුන් අතර මීටරයක දුරක් පවත්වා ගනිමින් සියයට 50 ක් හෝ ඊට අඩු සිසුන් සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගත යුතුයි. මුඛ ආවරණයක් භාවිත කිරීම, අත්සේදීම සහ ශ්වසන ආචාරවිධි පුහුණුවීම යන කරුණු පිළිබඳ නිතර සිහිගැන්වීමට ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු වනවා. උපකාරක පන්තිවල මුද්‍රිත පොත් හා සටහන් බෙදා හැරීමෙන් වැළකිය යුතු බවයි අදාළ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වන්නේ. 

උපකාරක පන්ති තුළ වායුසමනය නොමැතිනම් දොරවල් සහ ජනෙල් විවෘතව තබා ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලබාදිය යුතුයි. පන්ති කාමර තුළ වායුසමනය කර ඇත්නම් පිටතින් ප‍්‍රමාණවත් නැවුම් වාතය ලැබෙන ලෙස සකස් කළ යුතු මෙන්ම වායුසමනවල පෙරහන් සතියකට වරක් පිරිසිදු කළ යුතු වනවා.

උපකාරක පන්ති විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ අවසර ලබාදුන් පසු මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය පෞද්ගලික උපකාරක පන්ති පවත්වන පාර්ශ්වවලින් ඉල්ලා ඇත්තේ.