Saturday, April 20, 2024

General line - 0115112241

සිත්පිත් නොමැති පොලිස් නිලධාරියෙකු නිසා ජිවිතයෙන් වන්දි ගෙවූ "ජෝර්ජ් ෆ්ලොයිඩ්" (VIDEO / PHOTOS) 




කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය විසින් සීමාව ඉක්මවා ක්‍රියා කිරිම හේතුවෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් අමෙරිකාවේ, මිනියාපොලිස් නගරයෙන් වාර්තා වනවා. මෙම සිදුවීමත් සමග අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය.

ග්‍රොසරියකින් බඩු මිලදී ගෙන ඒ සඳහා මුදල් ගෙවීමේදී ඩොලර් 20 ක වටිනාකමකින් යුත් ව්‍යාජ චෙක් පතක් ලබා දීම හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති දෙදරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු විසින් එම කළු ජාතිකයාව බිම හෙලා ඔහුගේ බෙල්ල මතට තම දණහිස තබා ගෙන මිනිත්තු 08 කට ආසන්න කාලයක් තද කොට තබා ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එලෙස පොලිස් නිලධාරින් අමානුෂීය ලෙස ක්‍රියා කරද්දී තමන්ට හුස්ම ගැනීමට නොහැකි බවට පවසමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැත්තා අවස්ථා ගණනාවකදී ආයාචනා කළත් ඔවුන් ඊට ඇහුම්කන් නොදුන් අතර පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිදුවීම වාර්තා වීමත් සමග මිනියාපොලිස් නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වූ අතර එය මේ වන විට අමෙරිකාවේ නගර කිහිපයකටම ව්‍යාප්තවී ඇත්තේ සුදු ජාතික පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම කළු ජාතිකයින්ට එල්ල කරනු ලබන පීඩනයන්ට සහ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් ඉටු කරදෙන මෙන් ඉල්ලමින්ය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම් කඩ සාප්පු ද ගිනි තබා විනාශ කොට ඇති අතර නගරයේ ආරක්ෂාවට කැරළි මර්ධන ඒකකයේ සෙබළුන් අනියුක්ත කිරීමට කටයුතු යොදා ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ජිවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින් 04 දෙනාට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන බවත් ඔවුන්ගේ සේවය මේ වන විට තහනම් කොට ඇති බවයි මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ.