Friday, March 29, 2024

General line - 0115112241

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳුදාට කල්යයි




ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා දක්වා අද කල් තැබුණා. අදාළ පෙත්සම් 09 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සලකා බැලූනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි. අද පෙරවරුවේ අතරමැදි පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කළා. 

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙනුවෙන් කරුණු දැක්වූයේ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆායි. ඔහු කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මැතිවරණ දිනය වෙනස් කිරීමට හෝ එය කල්දැමීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට බලය පවතිව බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03 ක් ගතවීමෙන් පසුව එළඹෙන දිනයක් දක්වා මහ මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීතිවිරෝධී බවට පෙත්සම්කරුවන් මතුකරන තර්කය පදනම් විරහිත බවයි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මෙහිදී කරුණු ඉදිරිපත් කළේ. ඒ අනුව මෙම පෙත්සම් සියල්ල නීතිමය පදනමකින් තොරව ගොනු කර ඇති බැවින් එම පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප‍්‍රභා කරන ලෙස ද ඔහු මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. 

මේ අතර තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අනුර ෆොන්සේකා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු ද ශ්‍රේෂඨාධිකරණය හමුවේ අද කරුණු දක්වනු ලැබුවා. ඔවුන්ට අමතරව තවත් අතරමැදි පෙත්සම් ගොනු කළ පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කිහිපදෙනෙකු ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කරුණු ඉදිරිපත් කළා. මෙම පෙත්සම හරහා ඉදිරිපත් කරන කරුණු වලින් අධිකරණය හමුවේ පවතින නීති කෘතියට සහයවීමක් සිදුනොවන බැවින් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම අත්හිටුවීමයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේ. 

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා අවශ්‍ය ඡුන්ද පති‍්‍රකා මුද්‍රණයට සූදානම්  වන ලෙස මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දන්වා තිබෙනවා. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු අවසන්වීමෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ප‍්‍රකාශයට පත්වූ විගස ඡුන්ද පති‍්‍රකා මුද්‍රණය සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පැවසුවේ.