Friday, April 19, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සම්බන්ධකම් අත්හැරිය බවට ජනපති ට්‍රම්ප් කියයි 




අමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවතින සියලූ සම්බන්ධතා අතහැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඊට හේතුව ලෙසට ජනාධිපතිවරයා පවසන්නේ නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව එම සංවිධානයට ලබාදෙන අරමුදල් නවතා දමා එම මුදල් වෙනත් ගෝලීය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යෙදවිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබෙනවා.

එසේම නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය, ලොවට පිළිතුරු දියයුතු බවත්, ඒ සඳහා විනිවිදභාවයක් අවශ්‍ය බවත්, අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළා. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැහැ. එහෙත් අමෙරිකාවේ ඇතැම් පාර්ශව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම තීරණයට දැඩිව විරෝධය පළ කළා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දිගින් දිගටම ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ චීනයට වාග් ප‍්‍රහාර එල්ල කරමින් සිටින්නේ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තාවෙමින් ඇති පසුබිමක් තුළයි.