Thursday, March 28, 2024

General line - 0115112241

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද




අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඞ් තොණ්ඩමන් කී‍්‍රඩාංගනයේදී අද (31) පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ පවුලේ සාමාජිකයින්ට සහ අවමංගල්‍ය කමිටුවට දැනුම් දී ඇත්තේ.

නිරෝධායන නීතිවලට අනුගතව අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

මේ වනවිට ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන්නේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රසයේ පදනම් කාර්යාලයේදීයි.

සිය නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් වතුකරයේ ජනතාව ඉකුත් 26 වැනිදා සිට දෛනික කටයුතුවලින් ද වැළකී සිටියා. කෙසේවෙතත්, මුළු දිවයිනටම ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බැවින් අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අද දිනයේදී වතුකරය ආශි‍්‍රතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළා. 

රට පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බැවින් සෞඛ්‍ය අංශ සහ පොලීසිය ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසයි මෙහිදී වතුකරයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.