Friday, April 19, 2024

General line - 0115112241

සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙක් කොටු




ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබුණා.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ (30) රාත්‍රී 8.00 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද(31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.