Thursday, July 2, 2020

Advertising - 0773953664 | General line - 0115112241

රුසියාව චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින් අමෙරිකාව විවේචනය කරයි

2337Views


 


 

පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට විරෝධය පළ කරමින් අමෙරිකාව උණුසුම් කරමින් ඇරඹි විරෝධතා ලොවපුරා තවත් රටවල් රැසකට පැතිර ගොස් තිබෙනවා. ඒ, ෆ්ලොයිඞ්ගේ මරණයට සාධාරණය ඉල්ලන දස දහස් සංඛ්‍යාත පිරිසක් මහා මාර්ගවලට කැඳවමින්.

අමෙරිකාවේ නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඇතුළු නගර 40 කට වැඩි සංඛ්‍යාවකට තවදුරටත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මකයි. එහෙත් ෆ්ලොයිඞ්ට සාධාරණය ඉල්ලන අමෙරිකානුවන් තවදුරටත් වීථිවලට රැස්ව විරෝධතාවයේ නිරත වන්නේ ඇදිරි නීතිය පවා උල්ලංඝණය කරමින්. කෙසේවෙතත් බොහෝ ප‍්‍රදේශවල ප‍්‍රචණ්ඩ ස්වරූපයෙන් පැවති විරෝධතා මේ වනවිට සාමකාමී විරෝධතා බවට පත්ව තිබෙනවා. 

අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩා, බ‍්‍රසීලය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි‍්‍රතාන්‍යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි.

මේ අතර ලෝකප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිමට හැකියාව ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට බවයි. වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක‍්‍රියාකාරිත්වය අප සියලූ දෙනාට ප‍්‍රබල පාඩමක් යැයි කුමාර් සංගක්කාර ප‍්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ මෙන්ම ලෝකයේ රටවල් රැසක මෙලෙස දහස් ගණන් රැස්වී විරෝධතා පවතින්නේ කොරෝනා වසංගතය තවමත් නිමා නොවී ඇති පසුබිමකයි. ගත වූ පැය 24 තුළ බ‍්‍රසීලය ආසාදිතයින් 27,000 කට වැඩි පිරිසක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 21,000 කට වැඩි පිරිසක් ද වාර්තා වී තිබෙනවා. ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 ලක්‍ෂ 73,000 ද ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here