Friday, March 29, 2024

General line - 0115112241

සුරක්ෂිත සමාජයක් බිහි කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් : මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බන්ධනාගාර ආශ්‍රිත නීති විරෝධී ක්‍රියා මැඩලීම මුලික අරමුණයි




“සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදීමත් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරිම උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න පත් කොට තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.එස්. දිසානායක එම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පත් කොට තිබෙනවා.

වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකායට පැවරි ඇති ප්‍රධාන වගකීම් වලින් එකක් වනවා.

මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරැවන්නන් ඉන් වැළැක්වීම සඳහාත්, වරාය හා ගුවන් තොටුපොළ ආදී ස්ථාන හරහා පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙන්ම රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම පුර්ණ වශයෙන් මර්ධනය කිරිම හා එමගින් ඇතිවන සමාජ ව්‍යවසනයන් වැළැක්වීම සහ ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිම ද මෙම කාර්ය සාධක බළකායට පවරා ඇත.

වෙනත් රටවල සිට ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා එම අපරාධ වලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් පියවර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මෙම කාර්ය සාධක බළකායට පැවරී ඇති තවත් වගකීමක් වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී හා සාමාජ විරෝධී ක්‍රියා පිලිබඳව සොයා බැලීම සහ ඒවා වැළැක්වීමට මෙම කාර්ය සාධක බලකායට පැවරි ඇති තවත් ප්‍රධාන කාර්යක් වනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා පත් කොට ඇති සාමාජිකයින් ගේ නම් ඇතුලත් විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ: