Saturday, April 20, 2024

General line - 0115112241

මැතිවරණය පැවැත්වීමට ලබා දුන් මාර්ගෝපදේශ හෙළිවේ




මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන සදුදා කොමිසමේ සාමාජිකයින් රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. 

ඔහු කියාසිටියේ මැතිවරණ කොමිසමට අද ලැබුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ප‍්‍රකාශයට පත් කරන බවයි. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.

මහ මැතිවරණය වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත අද භාරදෙනු ලැබුවා. එහි ප‍්‍රධාන කරුණු 3 ක් ඇතුළත්. මීටරයක පරතරය, නිරතුරුව අත්සේදීම සහ මුඛ ආවරණ පැළදීම එම කරුණු වනවා. 

කුඩා රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කළයුතු කරුණු සම්බන්ධයෙන්ද අද ලබාදුන් මාර්ගෝපදේශණ මාලාවට අයත්.

අද සිට මැතිවරණ යාන්ත‍්‍රණය සකී‍්‍රයව කි‍්‍රයාත්මක වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින්ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද මුණ ගැසුණා. මැතිවරණයේදී අනුගමනය කළයුතු සෞඛ්‍ය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.