Saturday, April 20, 2024

General line - 0115112241

වගා හානි කරන පලගැටියාගේ ඇතිවීම සහ පැතිරීම ගැන හේතු හෙළිවෙයි




බෝගවලට හානි කිරීම සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දැඩි කතාබහට ලක් වූ පළගැටි විශේෂය ඇතිවීමට ප‍්‍රධාන හේතුව පාරිසරික බලපෑම් බව කෘෂි විද්‍යාඥයින් පවසනවා.

මෙම පළගැටි විශේෂයේ විශේෂත්වය වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ගහණය සීග‍්‍රයෙන් වැඩිවීමයි. වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. සීලරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ පළගැටි විශේෂයක ගහණය මෙලෙස සීඝ‍්‍රයෙන් වැඩිවූ ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙය බවයි. 

මෙම පළගැටි විශේෂය බිහිවන ආකාරය සහ ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් කීට විද්‍යාඥයින්ද මේ වනවිට විශේෂ පරීක්‍ෂණයක් සිදුකර තිබෙනවා. ඒ පිළිබද පැහැදිලි කරන බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස් ආර් සරත්චන්ද්‍ර කියා සිටියේ මෙම සත්ව විශේෂය පසේ බිත්තර දැමීම සිදු කරන බවයි.

මුල් අවස්ථාවේදීම මෙම පළගැටියන් මර්දනය නොකලහොත් පාලනය කිරීම අපහසුවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත්දා පළමු වරට තොරතුරු අනාවරණ කළේ එමගින් සිදුවිය හැකි දැඩි බලපෑම ද පෙන්වා දෙමින්. පළගැටියන් දහස් ගණනක් රංචු වශයෙන් පැමිණ වගා බිම් ආක‍්‍රමණය කිරීම සිදුවනවා. කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන මෙම පළගැටි විශේෂය මේ වනවිට ගම්පහ, කෑගල්ල, මාතර යන දිස්ති‍්‍රක්කවල මෙන්ම උතුරු පළාතටත් ව්‍යාප්තවී අවසන්.

තවදුරටත් මෙම ව්‍යාප්තිය සිදුවේ දැයි නෙත් නිවුස් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙහි ව්‍යාප්තියට වඩා සිදුව ඇත්තේ ඒ ඒ පළාත්වල සිටින ගහණයේ වැඩිවීමක් බවයි. 

පළගැටියන් මර්දනය කිරීම සදහා ගොවිජනතාවද කඩිනම් පියවර ගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙම පළගැටි විශේෂය වාර්තාවීමෙන් පසු මෙතෙක් නොදුටු සමනල් විශේෂයක් පිළිබද ඊයේ වනවිට පොළොන්නරුව, වැලිකන්ද ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක් සිදු කරන බවයි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ.